හමුදාවේ තනතුරු දැරූ අපූරු සතුන්

සේනාධිපති කියන්නේ ඉහළ හමුදාමය පදවියක්‌නේ. එහෙම තිබියදි පෙන්ගුවින් කුරුල්ලෙකුට සේනාධිපති කෙනෙක්‌ වෙන්න පුලුවන්ද? එවැනි පත්වීමක්‌ පසුගිය දිනවල ස්‌කොට්‌ලන්තයෙන් වාර්තා වුණා. මේ සේනාධිපති ශ්‍රීමත් නිල්ස්‌ උලව් නම් කිං පෙන්ගුවින් වාසය කරන්නේ ස්‌කොට්‌ලන්තයේ එඩින්බර්ග් සත්වඋද්‍යානයෙයි. නෝර්වේ රාජකීය ආරක්‌ෂක හමුදාවේ මංගල වස්‌තුවද වන තුන්වන නිල්ස්‌ උලව් 2008 දි නයිට්‌ නාමයද ලැබූවෙකි. ඔහු වෙනුවෙන් පසුගිය අගෝස්‌තු 22 දින විශේෂ උත්සවයක්‌ පැවැත්වුණා. පෙන්ගුවින් ගමනින් ගොස්‌ ශ්‍රීමත් තුන්වන නිල්ස්‌ උලව් පෙළ ගැසී සිටි නෝර්වේ රාජකීය ආරක්‌ෂක භටයින් 50 කුගෙන් යුතු කණ්‌ඩායමක්‌ පරීක්‌ෂා කිරීමේ යෙදුණා. පරීක්‌ෂාව අවසානයේ සත්ව උද්‍යානයේ භාරකරු විසින් සේනාධිපති පදවිය ශ්‍රීමත් නිල්ස්‌ උලව් වෙත පිරිනමනු ලැබුවා.

නෝර්වේ සහ එඩින්බර්ග් අතර පෙන්ගුවින් කුරුලු සම්බන්ධය ඇතිවුණේ 1914 දී නෝර්වීජියානු පවුලක්‌ විසින් සත්ව උද්‍යානයට කිං පෙන්ගුවින් කුරුල්ලන් ලබා දීමෙනි. කිං පෙන්ගුවින් වර්ගය සැලකෙන්නේ ලොව දෙවන විශාලතම පෙන්ගුවින් වර්ගය ලෙසයි. 1972 දී නෝර්වේ රාජකීය ආරක්‌ෂක හමුදාව සත්වඋද්‍යානයට පැමිණි විටක එම පෙන්ගුවින් කුරුල්ලෙකු හමුදා ඒකකයට ඇතුළත් කරගනු ලැබුවා. ඒ වෙනුවෙන් කටයුතු කළ සෙන්පති නිල්ස්‌ සහ එවකට නොර්වේ රජ වූ පස්‌වන උලව් රජුට ගරු කිරීමක්‌ ලෙස එම කිං පෙන්ගුවින්ට නිල්ස්‌ උලව් යන නම ලැබුවා. නෝර්වේ රාජකීය ආරක්‌ෂක හමුදාව සත්වඋද්‍යානයට පැමිණෙන ඒ ඒ අවස්‌ථා වලදී නිල්ස්‌ උලව්ගේ තනතුර හමුදාවේ පහළම තනතුරේ සිට උසස්‌ කෙරුණා. 1972 න් ඇරඹුණු මේ නිල්ස්‌ උලව් නම සහ ඒ හා බැඳුණු හමුදාමය පදවි ක්‍රමය කිං පෙන්ගුවින් කුරුල්ලන් අතට පත් වෙමින් නොකඩවා පවත්වා ගෙන එන අතර අද සිටින්නේ එහි තුන්වන අයිතිකරුයි. මේ හමුදාමය පෙන්ගුවින් වගේ තවත් කතාවක්‌ බ්‍රිතාන්‍ය හමුදාවේ රෝයල් වෙල්ෂ් පාබල හමුදාවෙන් වාර්තා වෙනවා. එහි කතා නායකයා විලියම් බිලි පළවෙනි වින්ඩ්සර් නම් කාශ්මීර එළුවෙකි. බිලි මංගල වස්‌තුවක්‌ ලෙස කටයුතු කළ අයෙකු නොව හමුදාවේ තරාතිරමක්‌ දැරුවෙකි. ඔහුගේ කාර්යය වූයේ සෑම චාරිත්‍රානුකූල උත්සවයකදීම පාබල හමුදාවට ඉදිරියෙන් ගමන් කිරීමයි. 2001 සිට 2009 දක්‌වා හමුදාවේ ලාන්ස්‌ කෝප්‍රල් වරයෙකු ලෙස කටයුතු කළ බිලී විදේශ රාජකාරිවලද යෙදී තිබුණා. මේ අතරේ 2006 වසරේ මාස 3 ක කාලයක්‌ එම තනතුරින් පහත හෙළීමකටද ලක්‌ව තිබුණා. ඒ පාබල හමුදාව සමඟ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින විට මහරැජිනගේ උපන්දින නිල උක්‌සව කටයුතු වලදි නොමනා අයුරින් හැසිරීමේ හේතුවක්‌ ලෙසිනි. බිලි 2009 මැයි මස හමුදාවෙන් විශ්‍රාම ගෙන විප්ස්‌නේඩ් සත්වඋද්‍යානයේ වාසයට එකතු වුණා. අද ඔහුගේ හමුදාවේ තැනට දෙවන විලියම් වින්ඩ්සර් නම් තවත් කාෂ්මිර එළුවෙකු පත් වී තිබෙනවා.

වොජ්ටෙක් ලෙසින් හඳුන්වන සිරියානු දුඹුරු වලසාද පෝලන්ත යුද්ධ හමුදාවේ විශේෂ මෙහෙයක්‌ කළ අයෙකි. 1942 පටන් එම යුද්aධ හමුදාවේ 22 වන කාලතුවක්‌කු සැපයීමේ අංශයේ හමුදා භටයින් සමඟ කටයුතු කළ වොයිටෙක්‌ පසුව නිල වශයෙන් සොල්දාදුවෙකු ලෙස පත්ව පසුව කෝප්‍රල් ලෙසට උසස්‌වීමක්‌ ලැබුවා. ඔහුටම කියා ගෙවීම් පතක්‌, තනතුරක්‌ සහ ශ්‍රේණි අංකයක්‌ වූ බව කියවෙනවා. වොජ්ටෙක් ජීවත් වුණේ අනිකුත් හමුදා භටයින් සමඟම කූඩාරම් තුළ විශේෂ ලී පෙට්‌ටියකයි. විවිධ වාර්තා කිරීම් වලට අනුව මොන්ටි කැසිනෝ යුද්ධයෙදි වොයිටෙක්‌ කාලතුවක්‌කු උණ්‌ඩ ගෙනයාමට උපකාර වී ඇති අතර එකදු උණ්‌ඩයක්‌ වත් බිම නොවටා සාර්ථකව එම කාර්යය කර ඇත. වොජ්ටෙක් ගේ ජනප්‍රියත්වය නිසාම හමුදා මූලස්‌ථානය 22 වන නාවික පිරිසේ හමුදා ලාංඡනය ලෙස කාලතුවක්‌කු උණ්‌ඩයක්‌ ගෙන යන වලසෙකු දැක්‌වෙන නිර්මාණයක්‌ අනුමත කරනු ලැබුවා. අනාථ පැටවෙකු ලෙස පෝලන්ත හමුදාව අතට පත් වූ මුල් කාලයේ වොජ්ටෙක්ට ගිලීමේ අපහසුතාවක්‌ විය. ඔහුට පරණ වොඩ්කා බෝතලයකින් උකු කළ කිරි ලබා දී ඇති අතර පසුව පලතුරු, මාමලේඩ්, පැණි, සිරප් ආදියට හුරු කෙරුණා. බොහෝ විට භටයින් ත්‍යාගයක්‌ ලෙස වෙයිටෙක්‌ට බියර් ලබා දුන් අතර එය ඔහුගේ ප්‍රියතම පානය බවට පත්වුණා. හමුදා භටයින් ආශ්‍රයේ හැදුණු ඔහු සිගරට්‌ ඉරීමට හෝ කෑමට සහ හමුදා භටයින් සමඟ පොර බැදීමට ප්‍රිය කළා. ආචාර කරන විට සොල්දාදුවෙකු ලෙස ආචාර කිරීමට ඔහු දැන සිටියා. වොජ්ටෙක් 22 නාවික පිරිස සමඟ ඉරාකය, සිරියාව, පලස්‌තීනය සහ ඊර්ප්තුවට ගොස්‌ තිබුණා. 1947 නොවැම්බර් 27 දී හමුදා සේවයෙන් මුදවීමෙන් පසුව වොජ්ටෙක් තම ජීවිතයේ ඉතිරි කාලය එඩින්බර්ග් සත්වඋද්‍යානයේ ගතකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *