පණ වැනි ජංගම දුරකතනය නැති උනොත් මොකද කරන්නේ

ජංගම දුරකථනයක් නැතිවුණොත් ඒකෙ මූල්‍ය වටිනාකමට අමතරව අපිට නැති වෙනවා ඒකෙ ගබඩා කරපු දුරකථන අංක, කෙටි පණිවුඩ වගේම තවත් විශේෂාංග සහිත දුරකථනයක් නම් ඡායාරූප ඇතුළු තවත් ගබඩා කරලා තියන වැදගත් තොරතුරු. නැවත හොයාගන්න පුළුවන් දේවල් නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම බැරි ඒවා සඳහා Backup එකක් එහෙමත් නැත්නම් අමතර කොපියක් කොහේ හෝ තියාගන්න එක වැදගත්.

මේවා වෙන කෙනෙක් අතට ගියොත්….. මොකද සමහර තොරතුරු ගොඩක් සංවේදී වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි දුරකථනයට පිවිසීමේදී දෙන්න පුළුවන් password/pin/pattern එක. ඒ වගේ දේකින් ආරක්ෂා කරන්න පුළුවන්.

ඒ වගේම smart දුරකථන වලට අපේ ඉ-මේල් ගිණුම හා සම්බන්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන් ආරක්‍ෂිත උපක්‍රම තියනවා. ඒ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඒවා හරහා අපේ දත්ත වෙන කෙනෙක් අතට යන එක වළක්වන්න ඒවා මකා දැමීම කරන්න පුළුවන්. ඒ වගේම දුරකථනය දැන් තිබෙන තැන google map වගේ එකක බලාගන්නත්, දුර සිටම දුරකථනය උපරිම හඬින් නාද කරවන්නත් පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කරන්න දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන්න ඕන.

හැබැයි ලංකාවේ හොරුන්ගේ ඉලක්කය දුරකතනයේ අඩංගු තොරතුරු වලට වඩා අදාළ උපකරණය. ඒ වගේම මූල්‍ය වටිනාකම නිසා මිළ අධික එකක් නම් නැවත ඒක හොයාගන්න හිමිකාරයත් ගොඩක් මහන්සි වෙනවා. අන්න ඒ සඳහා උපදෙස් ටිකක් තමයි දෙන්නේ.

ජංගම දුරකථනය භාවිතයේදී අපිට වැදගත් දේවල් දෙකක් තියනවා. එකක් ජංගම දුරකථනය. අනික Subscriber Identity Module හෙවත් සිම් පත. මේවා හඳුනා ගැනීමේදී දුරකථනය සතුව IMEI -International Mobile Equipment Identity අංකය සහ සිම් පතට දුරකථන අංකයත් වැදගත්.

IMEI කියන්නේ සිම් පතක් භාවිතා වෙන සියලු උපකරණ වලට (දුරකථන, ඩොන්ගල්) තියන හඳුනා ගැනීමේ අංකයක්. දුරකථනය නැති වුණාම හොයාගන්න මේක අවශ්‍යයි. දුරකතනයේ *#06# යෙදීමෙන් මේක බලාගන්න පුළුවන්. සිම් 2ක් තියේනම් අංක 2ක් ලැබෙනවා. දුරකථනය දැනටම නැති වෙලා නම් ඒක තිබුණු පෙට්ටියේ ස්ටිකරයක මේ අංක සඳහන් වෙනවා, ඒකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මිළදී ගනිද්දී ලැබෙන රිසිට් එකෙත් මේක ලියල තියෙන්න පුළුවන්.

අනික සිම් එක. අපේ දුරකථන අංකය අඩංගු වෙන්නේ මේකේ. සාමාන්‍යයෙන් මේක අපේ හැඳුනුම්පත් අංකයට ලියාපදිංචි කරලා තියෙන්නේ. දුරකථනය නැති වුණා නම් මුලින්ම කරන්න ඕන දේ තමයි අදාල සේවා සපයන ආයතනයට දැනුම් දීල සම්බන්ධතාවය විසන්ධි කරන එක. මොකද ඒ අංකය නීති විරෝධී දෙයකට (තර්ජනය කිරීමක් වගේ) හෝ අපරාධයකට යොදාගත්තොත් ලියාපදිංචි හිමිකරුට තමයි ගැටළු එන්නේ.

හැබැයි දැන් පාරවල් ගානේ සිම් දෙන විදියට ඒවා කාගේ නමට තියනවද දන්නේ නෑ. ඒ නිසා තමන් පාවිච්චි කරන එක තමන්ගේ නමට හදාගන්න එකත්, තමන්ගේ නමට නොදැනුවත්ව වෙනත් ඒවා ලියාපදිංචි කරලා තියනවද කියල දැනගෙන ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න එකත් ඇඟට ගුණයි.

හරි මුලින්ම සම්බන්ධතාවය විසන්ධි කරගන්න ඕන. හිමිකරු තමන් නෙවෙයි නම් නියම හිමිකරුට කියල අදාල ආයතනයට ඇමතුමක් දෙන්න. ඊට පස්සේ වෙලාවක ආයතනයේ ශාඛාවකට ගිහින් අනන්‍යතාවය ඔප්පු කරලා ඒ අංකයටම සිම් පතක් ලබාගන්න පුළුවන්.

ඊළඟ දේ දුරකථනය. ඒකෙදි වැදගත් වෙන්නේ IMEI කිව්වනේ. මොකක්ද මේ අංකය. මේක අදාල උපකරණය හඳුනාගැනීමට තියන අංකයක්. සාමාන්‍යයෙන් ඉලක්කම් 15කින් යුක්තයි. මේ අංකය මගින් දුරකතනයේ වර්ගය, මාදිලිය වගේ දේවල් හඳුනාගන්න පුළුවන්. අපි දුරකතනයකට සිම් එකක් දාල ක්‍රියාත්මක කලාම ජාලය මගින් පරීක්ෂා කරනවා උපකරණය සතුව නිවැරදි IMEI එකක් තියේද කියල. එහෙම හඳුනාගන්න බැරි වුණොත් අදාළ උපකරණය ජාලයේ ලියාපදිංචි කරගන්නේ නෑ. ඒ කියන්නේ සිග්නල් ලැබෙන්නේ නෑ.

නිවැරදි IMEI සහිතව ජාලයේ ලියාපදිංචි වුණොත් ඒ පිළිබඳ විස්තර ජාලයේ සටහන් ගබඩා වෙනවා. ඒ අනුව යම් දුරකථනයක භාවිතාකල විවිධ සිම්පත් මොනවද වගේම, එක සිම්පතක් භාවිතා කළ විවිධ උපකරණත් හොයාගන්න පුළුවන්.

මේ නිසා වැදගත්ම දේ තමයි දුරකථනය නැති වුණොත් ඒක හොයාගන්න ඕන නම් අනිවාර්යයෙන් පොලිසියේ පැමිණිල්ලක් කරන්න වෙනවා වගේම, ඒක අපිට හොයාගන්න අවශ්‍යතාවයක් නැති මිළ අඩු එකක් වුණත් පැමිණිල්ලක් දාන එක වැදගත්. හේතුව යම් අපරාධ ස්ථානයක තිබිල දුරකථනය හමුවුණොත් එහි පෙර භාවිතා කළ සිම්පත් මොනවද කියල හොයල ඒ ඔස්සේ පරීක්ෂණ කලොත් අමාරුවක වැටෙන්න ඉඩ තියන නිසා.

දැන් බලමු නැවත හොයාගැනීම සඳහා කරන්න ඕන දේවල්. සිම් එකනම් විසන්ධි කරලා ඒ අංකයම අලුත් සිම් එකකින් ගන්න පුළුවන් අදාල සේවා ආයතනයෙන්.

දුරකථනය සඳහා,

මුලින්ම හිමිකරු විසින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මේකට දුරකතනයේ IMEI අංක සහ තමන්ගේ බව ඔප්පු කිරීමට මිළදීගත් රිසිට්පත් ඉදිරිපත් කරන්න පුළුවන් නම් වඩා හොඳයි.

ඊළඟට ඒ පැමිණිල්ලේ පිටපතක් අරගෙන ඒකයි ජාතික හැඳුනුම්පතේ පිටපතකුයි එක්ක IMEI අංකය වගේ විස්තර ඇතුළත් ඉල්ලීමේ ලිපියක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට (TRC) යවන්න ඕන.

(ඉල්ලුම්පත PDF විදියට මං මෙතන දාල තියනවා.)
http://www.mediafire.com/file/455d7wxxaj9y88e/TRC_Application.pdf
(නැත්නම් TRC වෙබ් එකෙන් ගන්නත් පුළුවන්)

නැතිවුණු දුරකතනයේ භාවිතා කළ සිම් පත් පැමිණිලි කරුගේ නමට නැත්නම්, නියම හිමිකරු විසින් ඒක පැමිණිලිකරුට භාවිතා කිරීමට අවසර දුන් බවට අත්සන් කරපු ලිපියකුයි නියම හිමිකරුගේ හැඳුනුම්පතේ පිටපතකුයි ඕන. ඒ වගේම සේවා ස්ථානයෙන් දීපු අංකයක් වගේ සිම්පත අයිති ආයතනයකට නම් ආයතනයෙන් ලිපියක් ඕන පැමිණිලිකරුගේ භාවිතය සඳහා නිකුත්කළ බවට.

එතකොට TRC එකෙන් ඒ තොරතුරු ජංගම දුරකථන සේවා සපයන සියලු සමාගම් වලට දන්වා යවනවා. එතකොට ඒ මොන සමාගමේ සිම් පතක් දාල ජාලයකට සම්බන්ධ වුණත් අදාළ සිම්පතේ හිමිකරු ගෙ තොරතුරු හා භාවිත කරන ප්‍රදේශය පිළිබඳ විස්තර සමාගමෙන් TRC එකට දැනුම් දෙනවා.

TRC එකෙන් ඒක අදාල පොලිස් ස්ථානයට දන්වනවා. ඒ වගේම අපිටත් ලිපියකින් දන්වනවා. ඒ වගේම තමයි සිම් එකක් දාල පාවිච්චි කරන්නේ නැත්නම්, දුරකථනය හොයාගන්න බැරිනම් අදාල IMEI එක blacklist කරන්න TRC එකට පුළුවන්. ඒ කියන්නේ ඒ දුරකතනයට පස්සේ කාලෙක සිම් එකක් දාල ජාලයකට සම්බන්ධ වෙන්නත් බෑ.

මේකෙන් දුරකථනය ලැබෙන්න අවස්ථාවක් තියනවා වගේම නොලැබෙන්නත් අවස්ථාව තියනවා.

එකක් පොලීසියට තොරතුරු දුන්නට පස්සේ TRC එකේ කාර්යය ඉවරයි. එතනින් පස්සේ පොලිසියේ ක්‍රියාකාරීත්වය මත තමයි ඊළඟ ටික තීරණය වෙන්නේ.

තව හේතුවක් තමයි තාක්ෂණය ගැන දැනුමක් තියන හොරු මේ ක්‍රමයෙන් තමන් අහුවෙන්න ඉඩක් තියනවා කියල දන්න නිසා ගොඩක් වෙලාවට මේ දුරකථන කොටස් කරලා අමතර කොටස් විදියට විකුණනවා. එහෙමත් නැත්නම් සිම් එකක් නොදා අනෙකුත් පහසුකම් (කැමරාව, මියුසික් ප්ලේයර්) භාවිතා කරන්න විතරක් තියාගන්නවා.

ඒ නිසා ලැබෙයි කියල 100% ක් විශ්වාස කරන්න බෑ. ඒත් පැමිණිල්ලක් දාල තියන එකනම් ඇඟට ගුණයි.

(වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනගන්න පුළුවන්)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *