පෝරකය අබියස සිට

අවසන් වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් තුළ විත්තිකරුවෙකු එල්ලා මරා දමා ඇත්තේ 1976 ජුනී 23 දාය. ඒ හම්බන්තොට මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ ජේ.ඇම්. චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවා නැමැත්තා වැලික්ඩ බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමයි. ඒ තම පෙම්වතිය ඇතුළු පවුලේ 4 දෙනෙකු මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙනි.ශ්‍රී ලංකාවේ එල්ලුම ගස පිහිටි බන්ධනාගාර ඇත්තේ දෙකකි. ඒ වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාරය පමණි. බෝගම්බර බන්ධනාගාරය පසුගිය කාලයේදී පල්ලේකැලේ ප්‍රදේශයට ගෙන ගොස් නවීකරණය වීම නිසා දැන් එල්ලුම් ගහ ඉතිරිව ඇත්තේ ලංකාවේ වැලිකඩ බන්ධනාගාරයේ පමණි. එල්ලුම් ගහක් පිහිටි බන්ධනාගාරයක් හඳුනා ගත හැකි සංකේතයක් තිබේ. ඒ මිනී පෙට්ටි පියනක් වැනි සංකේතයක් අදාළ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට ඉහළින් තබා තිබේ.
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදවල් කිහිපයකි. ඒ මිනිමැරීම, හෙරොයින් ග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනිම හා රාජ ද්‍රෝහී ක්‍රියාවන් සඳහා පමණි. ශ්‍රී ලංකාවේ අධිකරණයකින් මරණීය දණ්ඩනය පනවන ආකරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මම විසින් රචනා කරන ලද ” මනුෂී ” කතාවෙහි අන්තර්ගත කොට තිබේ. එහි සම්ප්‍රදාය පිළිබඳව ගාම්භීරත්වයෙන් විස්තර කොට තිබේ. ඒත් ගොඩාක් අය මගෙන් තවමත් අහනවා මරණිය දණ්ඩනය නියම කළ විනිසුරුවෙකු අවසානයේදී තමා අත්සන් තැබූ පෑන කඩා දමන්නේ ඇයි කියලා….?? මේක ඇත්තටම එදා ඉඳන් පැවැති සාම්ප්‍රදායක්…! මට දැනෙන හැටියට මිනිහෙක්ව එල්ලුම් ගහට යවන්න අත්සන් කරපු පෑනක් නැවත වෙන වැඩකට ගත නොහැකි නිසා මෙවැන්නක් සිදු කරන්නට ඇති බවයි. මහාධිකරණයක් මඟින් යම් පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කළ පසු ඔහු එල්ලා මරන දිනය තීන්දු කරන්නේ ජනාධිපතිවරයා විසිනි. ඔහු මේ සම්බන්ධව තීරණයක් ගැනිම සඳහා අදාල නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් හා නීතීපතිතුමා, අගවිනිසුරුගෙන් වාර්තා 3 ක් කැඳවා මේ සම්බන්ධ ජනාධිපතිවරයාගේ අවසන් තීරණය දැනුම් දෙනු ඇත. විත්තිකරුවෙකුට මරණීය දණ්ඩනය නියම කල පසු ඔහුට මේ තීන්දුවට එරෙහිව පළමුව අභියාචනාධිකරණයටත් , ඉන් පලක් නොවේ නම් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියෝග කළ හැකිය. ඔවුන් විසින් නඩු සඳහා ඉදිරිපත් කර ඇති සියලු අභියාචනා පෙත්සම් අවසන් වන තෙක් ඔවුන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්ම කළ නොහැකිය….! තව අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවෙකුට හා ගර්භණි මවකට මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය වෙනුවට ජීවීතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළ හැකිය.
ඔයාලා දැනගන්න කැමැති ඇති නේද එල්ලුම් ගහට නියම වූවන් බන්ධනාගාරයක් ඇතුළේ ගත කරන ජීවීතය කෙබඳුද කියලා….! මරණීය දණ්ඩනයට නියම සිරකරුවන් හා සිරකාරියන් වෙන වෙනම ආරක්ෂාකාරීව විශේෂ සිර මැදිරි තුළ වසා තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ C3 විශේෂ සිරමැදිරිය තුළ මරණීය දණ්ඩනය නියම වූ පිරිමි සිරකරුවන් වසා තබනවා. මොවුන් සිරමැදිරියෙන් පිටතට ගැනීම සිදු කරන්නේ දවසකට පැයක කාලයක් ව්‍යායාම හා අව්ව තැපීම සඳහා පමණි. ඒ අනුව දවසේ ඉතිරි පැය 23 ම මෙම සිරමැදිරිය තුළ ගත කළ යුතුය. මෙම චැපල් අංශයේ සිරමැදිරි සංකීර්ණයේ ඇති විශේෂත්වය වන්නේ එල්ලුම ගහ පිහිටි කාමරය ද පිහි‍ටා ඇත්තේ මෙම සිරකරුවන් සිටින සිරමැදිරිවලට යාබදව පෙනෙන තෙක් මානයේය.පසු දින එල්ලා මරණ සිරකරු එල්ලුම ගසට යාබදව පිහිටි සිරමැදිරියේ පෙරදින රාත්‍රිය ගත කළ යුතුය. මෙවැනි අයෙකුට දැනෙන මානසික මට්ටම මොන වගේ වේවීද කියලා ඔයාලාට හිතා ගන්න පුලුවන් නේද….?? එල්ලා මරා දැමීම සිදු කිරීමට නියමිත පෙර දිනයේදී සිරකරුගේ අන්තිම ඉල්ලීම ඉෂ්ට කිරීමට බන්ධනාගාර බලධාරීන් සැදී පැහැදී සිටිනවා…! තමුන්ට ඕනේ කරන කෑමක්, බීමක් මෙහිදි ලබා ගත හැකිය. තමුන්ට අවශ්‍ය නම් මත්පැන්, දුම්වැටියක් වුවද ලබා ගත හැකිය. තමුන්ට ඕනේ කරන ළඟම නෑදෑයෙකු අවසන් වරට මුණ ගැසීමේ ඉඩ ප්‍රස්තාවද ලබා දෙනු ඇත.

ඔබ අහලා තියෙනවාද….! මිනිහෙක් ජීවතුන් අතර සිටියදී ඒ පුද්ගලයා ඉදිරියේ පාංශූකූලය ලබ දෙන අවස්තාවක් පිළිබඳව කවදාවත්ම…! ඒ බන්ධනාගාරයක් තුළ සිරකරුවෙකු එල්ලා මරා දැමීමට පෙර දිනයේ තමුන් අදහන ආගම අනුව අන්තිම ආගමික වතාවත් කරන්න ඉඩ තියෙනවා. බන්ධනාගාරයක් තුළ මිනිහෙක් එල්ලා මරා දැමීම සිදු කර ඇත්තේ පෙ:ව 8.05 ටය. එල්ලා මරා දැමීමට නියමිත පෙර දිනට අලුගෝසුවා සහ ඔහු සහයකයා පැමිණ එල්ලා මරා දැමීමට නියමිත සිරකරුගේ බර හා උස කිරා ගත යුතුය. ඒ බරට හා උසට අනුලෝමව බෙල්ලට යොදන තොණ්ඩුවේ දිග සැකසිය යුතුය. ඇතැම් විට බර සමතුලනය කිරිම සඳහා අමතර බර සහිත වැලි කොට්ට සිරකරුගේ කකුලේ එල්ලීමට ද සිදු විය හැකිය. මේ ආකාරයට නියමිත ආකාරයෙන් තොණ්ඩුව සැකසීම සිදු නොකළේ නම් එල්ලා මරණ අවස්තාවේදී බෙල්ල ශරිරයෙන් ගැල වී වෙන් වී යා හැකිය. අලුගෝසුවාගේ මානසික මට්ටම වෙනස් කර ගැනීම සඳහා එල්ලා මැරීමෙන් පසු මත් පැන් ලබා දීමක් ද සිදු කරනු ලබයි. මිනිහෙක් එල්ලා මරා දැමීමෙන් පසු වෛද්‍යවරයකු මරණය තහවුරු කිරිමෙන් පසු රජයේ වියදමින් භූමීදානය කරනු ලබන අතර සිය ළඟම නැදෑයන්ට මෲත ශරීරය බාර දීමක් සිදු නොකරයි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන රටවල් 173 ක් අතර ගිවිසුමක් අත්සන් තබා ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ 1976 න් පසු මරණිය දණ්ඩනය යළි ක්‍රියාත්මක වන දිනය ගැන අනාවැකි පළ කිරීමක් කළ නොහැකිය. අපරාධ රැල්ල අඩු කිරීම සඳහා මෙහි ඇති බලපෑම පිළිබදව ද සමාජයේ කතිකාවක් ගොඩ නැගිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *