නායක කාරකාදීන් අහක බලද්දී නරකාදියටම වැටෙන පිටකොටුව

හතු පිපෙන ගානට පිටකොටුවේ වෙළෙඳාම් තට්‌ටු වැඩි වේ…
වෙළෙන්දන් පාරිභෝගියන්ව ගසාගෙන කන විට පොලිසිය අහක බලයි…
පාවෙන වෙළෙඳපොළ කුඩුකාරයන්ගේ තිප්පොලක්‌…
පේව්මන්ට්‌ දිගට කුණු දිය බේරේ….

මුළු රටම අවුල් ජාලාවකි. දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍ෂේත්‍රයන් සියල්ලම අඩපණය. පසුගිය කාලයේ වැඩබිමක්‌ ලෙස තිබූ රට දැන් මුඩුබිමක්‌ බවට පත්ව ඇත. හැඩට තිබුණු කොළඹ නගරය නැවතත් අවීචි මහා නරකාදියක්‌ බවට පත්වෙමින් තිබේ.

තැන, තැන කුණු ගොඩවල්ය. කුණු වතුරවලින් කාණු පිරී ගොස්‌ය. කෑම කඩවල ඉඳුල් දිය පේව්මන්ටුව දිගේ දෝරේ ගලන්නේය. ඒ මතින් වහනය වන දුගඳට නාස්‌ කුහර පමණක්‌ නොව ඉහ මොළද රත් වේ. නාසය අත්ලෙන් මිරිකාගෙන හෝ දුගඳ දරාගත්තද, පිටකොටුවට සිදුව ඇති විපත්තිය දකින විට හදවත කකියවන්නේය.

පදිකයෙන් විසි වෙච්ච වෙළෙඳ ලෑල්ල නැවතත් පිටකොටුව විදී දිගට වැටි ඇත. පළමුවැනි, දෙවැනි, තෙවැනි, සිව් වැනි සියලුම හරස්‌ මාර්ගවල අඩකටත් වඩා දෙපස වෙළෙඳ තට්‌ටුවලින් ඇහිරිලාය. පාර මැද මිනිස්‌සු ගමන් කරති. වාහන ගමන් කිරීමට ඉඩ මදිව පාර ජෑම් වෙලාය. වෙළෙඳුන්ගේ කෑගැසීමට සහ ‘ට්‍රැපික්‌’ එකේ රූටන වාහනවල නලා ශබ්දයත් සමඟ විදී එකම ගාලගෝට්‌ටියකි. පිටකොටුව ප්‍රධාන මාර්ගය ඕල්කට්‌ මාවත දෙපස විසිතුරු ගඩොලින් හැඩ වූ පේව්මන්ට එක දිගටත් තැන, තැන බඩු පොදිය. ඕල්කට්‌ මාවතේ 120 බස්‌ නතර කරන ස්‌ථානයේ පේව්මන්ට්‌ එක දිගට අනවසර පාවහන් වෙළෙඳසල් පෙළකි. පිටකොටුව බෝධිය අසල රෙදිපිළි වෙළෙඳ කුටි පෙළකි. පිටකොටුව ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඇතුළේ අනවසර ඉදිකිරීම් රාශියකි. බැස්‌ටියන් මාවතේ බස්‌ නැවතුම්පොළ පිවිසුමේ නැවතත් පළතුරු තට්‌ටුය. පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිට තහඩුවලින් ඉදිකළ අනවසර වෙළෙඳසල් කිහිපයකි. දවසින්, දවස හතු පිපෙන ගානට පිටකොටුවේ වෙළෙඳ තට්‌ටු වැඩි වෙමින් තිබේ.

”පහුගිය කාලේ කොච්චර පිළිවෙළකට තිබුණද… නිදහසේ පාරේ බැහැලා යන්න තිබුණා… ආයෙත් පිටකොටුව පරණ තැනටම වැටිලා…” පිටකොටුවෙ වීදී දිගේ ඇවිද යන මගීන් එසේ කියනවා අපේ කනට ඇසුණු වාර අනන්තය. ඇතැම් මගීහු දෙස්‌ දෙවොල් දෙති. දොස්‌ කියති. මගීන් පමණක්‌ නොව පිටකොටුවේ වෙළෙඳුන් ද ආණ්‌ඩුවට දොස්‌ කියති.

”හතු පිපෙනවා වගේ පුංචි, පුංචි වෙළෙඳ කුටි ගහනවා. බහුතරය මුස්‌ලිම් මිනිස්‌සු. කාගෙන් අවසර අරගෙනද, කවුරු අවසර දීලා ද කියලා දෙයියො තමයි දන්නේ. ප්‍රශ්න කළොත් අර ඇමැතිතුමාගේ, මේ සභාපතිතුමාගේ කියනවා. නැති නම් ඇමැතිවරුන්ගේ අත්සන සහිත ලිපි පෙන්වනවා. අපිත් අසරණයි, නිලධාරිනුත් අසරණයි. මොන ජාතිකාරයන් කඩ දැම්මත් අපිට ප්‍රශ්නයක්‌ නෑ. දැනටත් පිටකොටුවේ සිංහල ව්‍යාපාරිකයෝ සුළුතරය බවට පත් වෙලා ඉවරයි. ඒක අපේ ජාතියේ නොහැකියාව. ඒවා ගැන කතා කළොත් ඇඬෙනවා. අපි කියන්නේ ඕනෑම දේකට පිළිවෙළක්‌ තියෙන්න ඕනා…”

එක්‌ වෙළෙන්දෙකුගේ කතාව අහවර වූයේ තව කිහිපදෙනකුගේ අඩු වැඩියත් සමඟය. ඔවුන්ට ඇවැසි පිටකොටුව හැඩට තබාගැනීමටය. අපේ මේ වෑයමද පිකොටකොටුවේ වෙළෙඳුන්ගේ බඩට ගැසීමවත් ජාතිවාදය ඇවිස්‌සීමවත් නොවේ, මෙරට අගනගරය වන කොළඹ ලස්‌සනට, පිළිවෙළට තබාගැනීමට බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කිරීමය.

”ඊයේ පෙරේදා තට්‌ටු දාගත්ත පුංචි කොල්ලො නහයට අහන්නෙ නෑ. පොඩ්ඩ එහා, මෙහා වුණ ගමන් මිනිස්‌සුන්ට ගහන්න පනිනවා. පාරිභෝගිකයෝ භාණ්‌ඩවල අඩුපාඩුවක්‌ පෙන්නුවොත් මහා හයියෙන් සත්තම දානවා. සමහර වෙලාවට ගහනවා. පාරිභෝගිකයෝ පොලිසියට ගියත් වැඩක්‌ නෑ. පොලිස්‌ නිලධාරිනුත් ඒ වෙළෙන්දන්ට සපෝට්‌. පිටකොටුවේ පොලිස්‌ නිලධාරීන් විතර හම්බ කරන නිලධාරීන් වෙන කොහෙවත් නැතුව ඇති. දවස ගානෙ පොලිස්‌ නිලධාරීන්ගේ සාක්‌කුවලට සල්ලි වැටෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න ඉන්න පොලිස්‌ නිලධාරීන්ට මාසෙකට රුපියල් ලක්‍ෂයක්‌, එහමාරක්‌ එකතු වෙනවා. ඒ නිසා වෙළෙන්දෝ පාරිභෝගිකයන්ව මරාගෙන කෑවත් පොලිස්‌ නිලධාරීන් නොදැක්‌කා වගේ ඉන්නවා. පව් අසරණ පාරිභෝගිකයෝ. ඒ කාලේ පිටකොටුවට එන පාරිභෝගිකයන්ට හොඳ ආරක්‍ෂාවක්‌ තිබුණා. වෙළෙන්දෝ පාරිභෝගියන්ට වංචා කරන්න බයක්‌ තිබුණා. අද වෙළෙන්දන්ගේ එහෙම බයක්‌ නෑ. මේ මෑතක මල්වත්ත පාරේ සෝනි බිල්ඩින් එකේ පිහි ඇනුමක්‌ ගියා. පිහි පහර කෑ දෙන්නෙක්‌ අදටත් ඉස්‌පිරිතාලේ. ඒත් පිහියෙන් ඇනපු උන් තවමත් නිදැල්ලේ. ඒ මදිවට දැන් කොළඹ ‘කුඩු’ වැහි වැහැලා. ඕල්සේල් කුඩු බිස්‌නස්‌ වෙනවා. ඉස්‌සරත් පිටකොටුවේ කුඩු බිස්‌නස්‌ වුණා. ඒත් අද වගේ මහා පරිමාණයෙන් වුණේ. නෑ. පාතාලය පැටව් ගහනවා. අරයගේ ගෝලයෝ… මෙයාගේ ගෝලයෝ… කියාගෙන ඇවිත් කප්පම් එකතු කරනවා. පහුගිය ආණ්‌ඩුව කාලේ හොර, මැරකම්, කප්පම් ගැනීම් පාලනය වෙලා තිබුණේ. ඒ නිසා තමයි අපිත් ‘වෙනස්‌ වන කොළඹට’ ආදරය කළේ…’

මේ හැම වෙළෙන්දෙක්‌ම පාරෙ දූවිලි කන්නේ නැතුව එක තැනකට වේලා පාඩුවේ බිස්‌නස්‌ කරගෙන යන්න කැමැතියි. පහුගිය රජය කාලේ පදික වෙළෙඳුන්ට අලුතින් කඩ දෙනවා කිව්වම අපි බොහෝම කැමැත්තෙන් හිටියේ. ඒත් එක හරියට වුණේ නෑ. ස්‌ථාන තුනක කඩ සාප්පු සංකීර්ණ තුනක්‌ ඉදිකරලා වෙළෙඳසල් බෙදලා දුන්නා. ඒත් පිටකොටුවේ ලියාපදිංචි පදික වෙළෙඳුන් දෙදහස්‌ පන්සීයෙන් දාහකටවත් වෙළෙඳ කුටි ලැබුණේ නෑ. ඒ කඩ සාප්පුවල කඩ ගත්තේ නාගරික මන්ත්‍රීවරු, ඒ අයගේ ගෝල බාලයෝ. අන්තිමේ පදිකයෙන් විසි වෙච්ච අය නැවතත් වීදි දිගට බඩු දාන්න පටන්ගෙන. පාවෙන වෙළෙඳපොළට මිනිස්‌සු යන්නේ නැති නිසා එතැන වෙළෙඳාම් කරපු අයත් පේව්මන්ට්‌ එකේ බඩු දාන්න පටන්ගෙන. ආයෙමත් කොළඹ අර තිබුණු පිළිවෙළ නැති වෙලා. නගරය ලස්‌සනට තියෙනවා නම්, හැඩ බලන්න හරි මිනිස්‌සු එනවා. විදේශීය සංචාරකයෝ එනවා. දැන් මිනිස්‌සු කොළඹ ඇවිදින්නෙ නාහය වහගෙන…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *